පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය 1821 වසරේදී ආරම්භ කරන ලද්දේ ඉංග්‍රීසින් විසින් උඩරට රාජධානිය අත්පත් කර ගැනීමෙන් වසර හයකට පසුවය. මෙම උද්‍යානය මහනුවර සිට කිලෝමීටර් 5.5 පමණ දුරකින් මහනුවර- කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති අතර ප්‍රධාන මාර්ගයට මායිම් වී ඇති දකුණු ප්‍රදේශය හැරුනු විට උද්‍යානයේ අන් සෑම මායිමක්ම මහවැලි ගඟෙන් වටවී ඇත. රාජකීය උද්භිද උද්‍යානය හෙක්ටයාර 61.25කින් සමන්විත වන අතර මුහුදු මට්ටමේ සිට අඩි 1550ක උසකින් යුක්ත වේ. වර්තමානය වන විට, උද්‍යාන තුළ දැවමය ගස්, තල්, මීවන, ඕකිඩ් සහ පඳුරු ඇතුළු ශාක විශේෂ 4000කට අධික ප්‍රමාණයක් ඇත.

උද්‍යානයේ පිහිටීම

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර නගරයට බටහිරින් කිලෝමීටර 5.5 ක් පමණ දුරින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පිහිටා ඇත. 2016 දී, උද්‍යානයට දේශීය නරඹන්නන් මිලියන 1.2 ක් සහ විදේශීය නරඹන්නන් 400,000 ක් පැමිණ ඇත. එය මහවැලි ගඟ (ශ්‍රී ලංකාවේ දිගම ගංගාව) අසල පිහිටා ඇත. මෙහි ඕකිඩ් එකතුව විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි. මෙම උද්‍යානය ඕකිඩ්, කුළුබඩු, ඖෂධීය ශාක සහ තල් ඇතුළු ශාක විශේෂ 4000කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. "ශ්‍රී ලංකාවේ ජාතික ශාකාගාරය" පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට හා ඒකාබද්ධව කටයුතු කරයි.

උද්භිද උද්‍යානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 147 (කිලෝමීටර 0.59) කි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 460ක් ඉහළින් පිහිටා ඇති අතර දින 200ක වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ. එය කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මඟිනි.

රාජකීය උද්භිද උද්‍යානයේ ඉතිහාසය ඓඓඓ වන වික්‍රමබාහු රජු සිහසුනට පත් වී පේරාදෙණියේ මහවැලි ගඟ අසල රජ මාලිගය පවත්වාගන්නට යෙදුණු වර්ෂ 1371 දක්වා දිව යයි. පසුව, 1747 සිට 1780 දක්වා කීර්ති ශ්‍රී රජුගේ පාලන සමයේදී මෙය රාජකීය උද්‍යානයක් බවට පත් කරන ලද අතර 1780 සිට 1798 දක්වා රාජාධි රාජසිංහ රජු එහි වාසය කළ අතර, ඔහු වෙනුවෙන් තාවකාලික මාලිගයක් ඉදිකරන ලදී.

විමලධර්ම රජුගේ පාලන සමයේදී විහාරයක් සහ දාගැබක් ඉදිකරන ලද අතර එය රාජාධිරාජසිංහ රජු විසින් වැඩිදියුණු කරන ලදී. මහනුවර අත්පත් කරගත් ඉංග්‍රීසීන් එම විහාරය සහ දාගැබ විනාශ කරන ලදී. දෙවන රාජසිංහ රජු සහ පෘතුගීසීන් අතර සිදු වූ බවට ප්‍රසිද්ධියක් උසුලන ඓතිහාසික ගන්නෝරුව සටන පැවතියේ මහවැලි ගඟේ උතුරු දෙසින්ය. කන්ද උඩරට රාජධානිය අවසන් වශයෙන් යටත් කර ගැනීමෙන් වසර 6කට පසු එනම් 1821 දී ඇලෙක්සැන්ඩර් මූන් මහතා විසින් උද්‍යානය පිහිටුවන තෙක් පූජකවරයෙකු මෙහි වාසය කළේය.

වර්ෂ 1810දී සර් ජෝසප් බෑන්ක්ස්ගේ උපදෙස් පරිදි කොම්පඤ්ඤ වීදියේ කිව් නමින් උද්‍යානයක් විවෘත කරන ලද අතර එහි අධිකාරීවරයා ලෙස විලියම් කේර් මහතා පත් කරන ලදී. 1813 දී උද්‍යානය කළුතරට ගෙන යන ලද්දේ කොම්පඤ්ඤ වීදියේ ආර්ථික බෝග වගා කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි පරිමාණයකින් එහි වගා කළ හැකි බවට පිළිගැනීම නිසාය. 1814 දී කේර් මහතා මිය ගිය අතර ඔහුගේ අනුප්‍රාප්තික ඇලෙක්සැන්ඩර් මූන් මහතාගේ පාලනය යටතේ මෙම උද්‍යානය අවසානයේ 1821 දී පේරාදෙණියට ගෙන යන ලද්දේ එය යෝජිත උද්භිද උද්‍යානය ස්ථාපිත කිරීමට වඩාත් හිතකර හා යෝග්‍ය බව අවබෝධ වූ බැවිනි. අනුප්‍රාප්තික අධිකාරීවරුන් විසින් 1843 දක්වා කළුතර උද්‍යානයෙන් විදේශීය ශාක මාරු කිරීම සිදු කරන ලදී.

මූන්ගේ අධීක්ෂණය යටතේ පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානය විවෘත කිරීම ආරම්භ වූ නමුත් ආරම්භයේදී උද්‍යානයේ නිරිතදිග කොටස පමණක් හෙළිපෙහෙළි කර විවෘත කරන ලද අතර එම කොටසේ කුරුඳු සහ කෝපි වගා කරන ලදී. 1824 දී මූන් මහතා විසින් දිවයිනට ආවේණික ශාක 1,127ක උද්භිද විද්‍යාත්මක නම් හා දේශීය නම් ඇතුළත් " Catalogue of Ceylon Plants" නමින් පොතක් ප්‍රකාශයට පත් කරන ලදි.

1844දී ජෝර්ජ් ගාඩ්නර් මහතා පත් වීමෙන් පසු උද්භිද උද්‍යානය වඩාත් ක්‍රියාකාරී, ස්වාධීන හා ප්‍රයෝජනවත් ආකාරයට පවත්වාගෙන යනු ලැබීය. ගාඩ්නර් මහතා බලයට පත්වන විට උද්‍යානයේ වගා කටයුතු සිදු කර තිබුණේ අක්කර 147න් අක්කර 40ක් පමණක් වන අතර එම භූමිය මූලිකවම භාවිත කර තිබුණේ මහනුවර ඒජන්තවරයා වෙනුවෙන් විකිණීම සඳහා කොස්, පොල් හා එළවළු වගා කිරීමයි. ගාඩ්නර් මහතා උද්‍යානවල තත්ත්වයෙහි වැදගත් දියුණුවක් ඇති කිරීමට බොහෝ වැදගත් වූ නමුත් ඔහුගේ ප්‍රධාන කාර්යය වූයේ උද්‍යානයට ශාක එකතු කිරීම සඳහා දිවයින ගවේෂණය කිරීමයි. ගාඩ්නර් මහතා 1849දී නුවරඑළියේදී මිය ගිය අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ආචාර්ය ත්වේට්ස්, වසර 30කට වැඩි කාලයක් උද්‍යානය ඉහළ කාර්යක්ෂමතාවයකින් නඩත්තු කළ අතර, ශාක පිළිබඳ අපගේ දැනුම බෙහෙවින් වර්ධනය කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම, උද්‍යානයට ලෝක පූජිත කීර්තිමත් තත්ත්වයක් ලබා දීමට ද ආචාර්ය ත්වේට්ස් උර දුන්නේය. 1861දී දිවයිනට සිංකෝනා හඳුන්වා දීම සඳහා හක්ගල උද්භිද උද්‍යානය පිහිටුවන ලද අතර 1876 දී රබර් හඳුන්වා දීම සඳහා ගම්පහ (හෙනරත්ගොඩ) උද්භිද උද්‍යානය පිහිටුවන ලදී. ත්වේට්ස් මහතාගෙන් පසු ආචාර්ය හෙන්රි ට්‍රයිමන් මහතා පත් වූ අතර, ඔහුගේ පාලනය සහ දක්ෂ කළමනාකරණය යටතේ උද්‍යානවල අලංකාරය සහ ප්‍රයෝජනවත් බව සැලකිය යුතු ලෙස වර්ධනය විය. ඔහු ආර්ථික උද්භිද විද්‍යා කෞතුකාගාරය ස්ථාපිත කළේය. එමෙන්ම, බදුල්ලේ සහ අනුරාධපුරයේ ශාඛා උද්‍යාන විවෘත කිරීමට කටයුතු කළේය. ඔහුගේ කෘතිය වන "“The Flora of Ceylon” " ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ නමුත් 1896දී ට්‍රයිමන් මහතාගේ මරණයෙන් පසු සර් ජෝසප් ඩී. හූකර් විසින් එම කෘතියේ වැඩ කටයුතු නිම කරන ලදී. 1896 දී ට්‍රයිමන්ගෙන් පසු ආචාර්ය ජේ.සී. විලිස් පත් වූ අතර එතැන් සිට විද්‍යාත්මක කටයුතුවල නව ව්‍යාප්තියක් සිදු විය. මුල් වසරවල වැඩ කටයුතු ප්‍රධාන වශයෙන් යොමු වූයේ ප්‍රයෝජනවත් සහ විසිතුරු ශාක හඳුන්වාදීම සහ අනුකූලනය සඳහා වන නමුත් පසු වසරවලදී ආර්ථික උද්භිද විද්‍යාව සහ කෘෂිකර්මාන්තය ආශ්‍රිත වැඩකටයුතු වර්ධනය විය. එම වැඩකටයුතු 1912 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධනය කෙරෙහි හේතු විය.

1895දී භාරකරු ලෙස පත් කරන ලද එච්.එෆ්. මැක්මිලන් මහතා 1912 දී උද්භිද උද්‍යාන අධිකාරී ලෙස පත් කරන ලද අතර 1914 දී භාරකරු ලෙස ටී.එච්. පාර්සන්ස් මහතා පත් කරන ලදී. මැක්මිලන් මහතාගේ අධීක්ෂණය යටතේ උද්‍යාන වැඩිදියුණු කර පුළුල් කරන ලද අතර ඔහුගේ “A Hand Book of Tropical Planting and Gardening” යන ශ්‍රේෂ්ඨ කෘතිය ද ප්‍රකාශයට පත් කරන ලදී. මැක්මිලන් මහතා 1925 දී විශ්‍රාම ගත් අතර ටී.එච්. පාර්සන්ස් මහතා 1945 දක්වා භාරකරු වශයෙන් කටයුතු කළේය. 1945දී භාරකරු ලෙස පත් කරන ලද ඩී.එම්.ඒ. ජයවීර මහතා ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක සහ ඕකිඩ් පිළිබඳ අපගේ දැනුම පුළුල් කිරීමට කටයුතු කළේය. 1971දී භාරකරු ලෙස පත් වූ ඩී.ටී. ඒකනායක මහතා ශ්‍රී ලංකාවේ මල් වගාවේ පුරෝගාමියා වූයේය. ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ඩී.බී. සුමිත්‍රාආරච්චි මහතා උද්භිද උද්‍යානවල තත්ත්වය බෙහෙවින් වැඩිදියුණු කළ අතර 1998 දී උද්‍යාන හැර යන තෙක් ම වඩාත් ඵලදායී ලෙස ශාක වර්ගීකරණ සිදු කිරීමට කටයුතු කළේය. 2006දී මිරිජ්ජවිල නව උද්භිද උද්‍යානයක් (හම්බන්තොට අසල) පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන ලද අතර එය මෙරට නිදහසින් පසු ආරම්භ කරන ලද පළමු උද්භිද උද්‍යානයයි. අක්කර 300ක පරිමණෙයකින් යුත් එම උද්‍යානය වියළි හා ශුෂ්ක කලාපීය ශාක සංරක්ෂණය සඳහා විශේෂිත වූ ශ්‍රී ලංකාවේ විශාලතම උද්‍යානය වේ. තෙත් කලාපීය ශාක විතැන් සංරක්ෂණය කිරීම සඳහා අවිස්සාවේල්ල, ඉලුක්ඕවිට ප්‍රදේශයේ තවත් උද්භිද උද්‍යානයක් ආරම්භ කරන ලදී. 2016 ට පෙර තවත් උද්භිද උද්‍යාන 5ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

අද වන විට, උද්භිද උද්‍යානය, ජාතික ශාකාගාරය, වන ඖෂධ උද්‍යානය, අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවාස සහ කාර්යාලවලට අනුබද්ධ උද්‍යාන, පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමි, අනුරාධපුරයේ පූජනීය බෝධි වෘක්ෂය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ඓතිහාසික ශාක කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ වගකීම උද්භිද උද්‍යානය සතුය.

රාජකීය උද්භිද උද්‍යානයේ අරමුණු

රාජකීය උද්භිද උද්‍යානය පිළිබඳ සැකෙවින්

උද්‍යාන සිතියම

උද්‍යාන නරඹන්නේ කෙසේද?

වඩාත්ම වැදගත් ස්ථාන පෙන්වන සිතියමක් මෙයින් දැක්වේ.

සුචිය

1. ප්‍රධාන පිවිසුම
2. දෙබිඩි පොල් මාවත
3. පයිනස් ශාක
4. කළුවර එකතුව
5. තාල ශාක එකතුව
6. මඩු ශාක එකතුව
7. සිසුන්ගේ උද්‍යානය
8. උණ ශාක එකතුව
9. ඖෂධ උද්‍යානය
10.යෝධ උණ ශාක
11.ගිරි උයන
12.ගාඩ්නර්ගේ සිහිවටනය
13.ජාවා නුග ශාකය
14.කුක්ස්පයින් මාවත
15.ජාතික ශාකාගාරය
16. නුග ශාක එකතුව
17.එල්ලෙන පාලම
18.රජ තල් මාවත
19.සිහිවටන ශාක
20.මීවන ශාක
21.අධ්‍යාපන මධ්‍යස්ථානය
22.මල් උද්‍යානය
23.යාපන තල් මාවත
24.කැබේජ් තල් මාවත
25.පැළ විකුණුම් මධ්‍යස්ථානය
26.පරිපාලන ගොඩනැගිල්ල
27.පතොක් ගෘහය
28.පැළ ගෘහය
29.ඕකිඩ් ගෘහය
30.කුළුබඩු උයන

නැරඹුම් ස්ථාන

ඔබට නැරඹිය හැකි ස්ථාන

උද්‍යානයේ සියලු මනස්කාන්ත ස්ථාන දැකබලා ගැනීමට උද්‍යාන පුරා ගමන් කරන ලෙස නරඹන්නන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

4.5 VISITORS RATING

Trusted By 1000+ Visitors

පෙ.ව 7.30 - ප.ව 6.00

විවෘතව තබන වේලාවන්

පෙ.ව 7.30 - ප.ව 5.00

ප්‍රවේශපත් නිකුත් කිරීම

දින 365

විවෘතයි

පෙ.ව 08.00 - ප.ව 5.00

ආපන ශාලාව

විදෙස් නරඹන්නන් සඳහා

ප්‍රවේශපත්‍ර ගාස්තු

ශ්‍රී ලංකාවේ මනස්කාන්ත ශාක ලෝකය ගවේෂණය කරන්න ඔබත් එන්න.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ඕකිඩ් ගෘහය සහ උද්‍යානය
ඕකිඩ් ගෘහයේ Cattleya, Dendrobium, Arachnis, Oncidium, Phalaenopsis, Vanda යනාදී විදේශීය මල් සහ ඒවායේ දෙමුහුන් ශාක, අමුත්තන්ට සිත් ඇදගන්නා මල් විශේෂ වේ. ඕකිඩ් නිවසෙහි ලොව විශාලතම ඕකිඩ් ඇතුළු නිවර්තන ඕකිඩ් වර්ග දැකගත හැකිය. මීටර් 2.5 ක් දිග ශූකිය (spike) සහිත මල් (Grammatophyllum speciosum) සහ හරිත ඕකිඩ් (Coelogyne meyeriana) ද උද්‍යානයේ ඇත.
මීවන උද්‍යානය
මල් උද්‍යානයට යාබදව ඇත්තේ මීවන එකුවයි. හරස් මාර්ග ආශ්‍රිතව අලංකාර ලෙස භූ දර්ශන කර ඇති අතර තුරුවැල් යවා ඇති රෑස්ස ගස්වලින් හොඳින් සෙවන ලබා ඇත. මීවන ශාක එකතුවට දේශීය හා විදේශීය විශේෂ 100ක් පමණ ඇතුළත් වේ.
යෝධ තණකොළ පිට්ටනිය
මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ, යෝධ කුඩයක් මෙන් දිස්වන, තණකොළ මැද පිහිටා ඇති ජාවා විලෝ හෙවත් ජාවා නුග ශාක (Ficus benjamina) ය.
ලංකා පොකුණ
ප්‍රධාන පිවිසුමෙන් වම් පසට වන්නට දකුණු මාර්ගයෙහි ලංකා පොකුණ පිහිටා ඇත. පොකුණේ මායිම ජලජ ශාකවලින් වෙන් කර ඇත. මෙහි වඩාත්ම කැපී පෙනෙන අංගය නම්Papyrus of the Nile (Cyperus papyrus) ශාකය. විලෙහි මැද විවිධ Nymphaea ශාක වලින් පිරී ඇත.
කුළුබඩු උද්‍යානය
මෙරටින් අපනයනය කරන ප්‍රධාන කුළුබඩුවක් වන කුරුඳු හා ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති කුළුබඩු වන ගම්මිරිස්, එනසාල් සහ සාදික්කා ඇතුළු නියෝජිත ශාක ප්‍රධාන පිවිසුමේ දකුණු පසින් පිහිටයි. 1840 දී පමණ රෝපණය කරන ලද පැරණිතම සාදික්කා ගස්වලින් කිහිපයක් තවමත් සම්පූර්ණයෙන්ම ඵල දරයි. මීට අමතරව, බේ කොළ (Pimenta racemosa) සහ සුවඳ ගම්මිරිස් (Pimenta dioica) ශාක ද ඇත.
දෙබිඩි පොල් මාවත
උද්‍යානයේ 200 කට වඩා වැඩි පාම් විශේෂ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ සීෂෙල්ස්හි දෙබිඩි පොල් (Lodoicea maldivica) නැමැති ශාකයයි. ශාක රාජධානියේ විශාලතම බීජය නිපදවන්නේ මෙම තාල වර්ගයේ ශාකයි. මෙය මල් පිපී මේරීම සඳහා වසර පහක් පමණ ගතවේ. ප්‍රධාන පිවිසුමේ සිට මීටර් 100 ක් පමණ දුරින් ගාඩ්නර් ස්මාරක පිහිටි මාර්ගය දෙපස මෙම පාම් ශාක දැකිය හැකිය.
මල් උද්‍යානය
ඕකිඩ් ගෘහය අසල පිහිටි, වාර්ෂික සහ බහු වාර්ෂික මල් තවාන්වලින් මල් වත්ත සමන්විත වේ. මෙහි ඇති වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ, අෂ්ටාස්‍රාකාර සංරක්ෂණාගාරයට පිවිසෙන මාර්ගය වෙත දිවෙන දර්ශනීය කෝලියස් ප්‍රභේදවලින් සකස් කළ රිබන් බෝඩරයයි. මෙහිදී ඔබට සෙවන ප්‍රිය කරන ශාක එකතුවක් දැකගත හැකිය. කැබේජ් තල් මාවත(Roystonia oleracea), සහ යාපන තල් මාවත (Borassus flabellifer) ලෙස විසිතුරු පාම් මංතීරු දෙකක් මෙම කොටස ආශ්‍රිතව දැකගත හැකිය
පැළ ගෘහය සහ පතොක්
ඕකිඩ් ගෘහය ආසන්නයේ මීවන, බෙගෝනියා, අප්‍රිකන් වයලට්, එපිසියා, ඩිපන්බතියා, කැලතියා, Philodendron, බ්‍රොමිලියා සහ ඇන්තූරියම් යනාදී විවිධ හරිතාගාර ශාක අඩංගු පැළ ගෘහයක් ද ඇත. නිදර්ශක 800 කට වැඩි පතොක් ශාක එකතුවක් පතොක් ගෘහයේ ප්‍රදර්ශනය කෙරේ. එයට ඇලෝ, agaves, Opuntia, සිරස්, Rebutia, Rhipsalis, ආදිය ද ඇතුළත් වේ.
උණ ශාක එකතුව
ලංකා පොකුණේ දකුණ පසට වන්නට ගඟ දිගේ පිහිටි මාර්ගයෙහි උණ ශාක එකතුව පිහිටා ඇත. බුරුමයෙන් ගෙන්වන ලද (Dendrocalamus giganteus)ලෝකයේ විශාලතම උණ ශාක වේ. මීටර් 30-40ක උසකින් සහ විෂ්කම්භය සෙන්ටිමීටර 20-25ක් පමණ වේ. නව රිකිලිවල සාමාන්‍ය වර්ධන වේගය දිනකට සෙන්ටිමීටර 30 ක් පමණ වේ. අනෙකුත් ඒවා නම්, yellow building bamboo (Bambusa vulgaris), feather-leaved bamboo (Dendrocalamus membranaceus), prickly bamboo (Bambusa spinosa) සහ Dwaft Chinese bamboo ශාක වේ.
මල් ගස් සහ වන උයන
වසරේ මුල් භාගයේදී වැඩි වශයෙන් මල් පිපෙන වෘක්ෂ ඇතුළු මල් පැළ උද්‍යානයේ වඩාත් ආකර්ශනීය දර්ශනයකි. බුරුමයේ අභිමානය ලෙස ප්‍රචලිත Amherstia nobilis ශාක පේළියක් ප්‍රධාන පිවිසුම් මාර්ගයේ දකුණු පස රෝපණය කර ඇත. හෙක්ටයාර් 20 ක් පමණ පුළුල් වනෝද්‍යානයේ ශාක 10,000 ක් පමණ තිබේ. ඉන් සමහර ශාක වසර 100 කට වඩා පැරණි විශිෂ්ට ශාක නිදර්ශක වේ. ඒ අතර බුරුත සහ මහෝගනී වැනි නිවර්තන දැව බොහොමයක් ඇත.
Foreign Adult

(Elder than 12)

LKR3,540/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.
Foreign Student

(Must have proof)

LKR2,360/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.
Foreign Child

(5 to 12 Years)

LKR1,770/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.